දෙවැනි වෙළුම (2024)

Second Volume
ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු 1948 වසරේදී ම Studio of Modern Architecture නමින් තමාගේ ම වාස්තු විද්‍යා ශිල්පී ව්‍යවහාරයක් ස්ථාපිත කළ, ශ්‍රී ලාංකික වාස්තු විද්‍යාඥ මිනෙට් ද සිල්වා (1918–1998) විසින් මහනුවර වටපුළුව නිවාස යෝජනා ක්‍රමය (1958) නිර්මාණ සැලසුම්කරණය කරන ලදී. විවිධ වාර්ගික-ආගමික රාජ්‍ය සේවක ප්‍රජාවකට දැරිය හැකි මිලකට නවාතැන් සපයා ගැනීමේ නව යුගයක පෙරමං තනමින්, නිවැසියන්ගේ සක්‍රීය සහභාගිත්වය සමඟ ඇගේ පෙරළිකාර සමාජ නිවාස යෝජනා ක්‍රමය නිර්මාණය කෙරිණි. සමකාලීන කලාකරුවන් වන ඉරුෂි තෙන්නකෝන්, සුමේධ කැලේගම, සහ සුමුදු අතුකෝරල විසින් කළ ‘is this an architectural documentary?’ (2023) සජීවිකෘත වාර්තා චිත්‍රපටයේ පිටපතක් ඇතුළු, ප්‍රාථමික පර්යේෂණ සහ පෙර ප්‍රකාශිත නොවුණු ආකයිවික අමුද්‍රව්‍ය ‘දෙවැනි වෙළුම’ එකට එක් කරයි. 1966දී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් පළමු වරට ප්‍රකාශනයට පත් කළ ද සිල්වාගේ ‘Experiments in Modern Regional Architecture in Ceylon 1950 to 1960’ (1965–1966) නමැති මුඛ්‍ය රචනාවේ විශේෂ ඌනපූරණයක් ද මේ කෘතියේ අඩංගු වේ.
ඇගේ අභාවයෙන් පසු ප්‍රකාශයට පත් කෙරුණු ‘The Life and Work of an Asian Woman Architect Vol. 1’ (1998) නම් ස්වයං චරිතාපදානය සමඟ ද සිල්වා ආරම්භ කළ ලේඛනගත කිරීමේ ක්‍රියාවලිය ‘දෙවැනි වෙළුම’ අඛණ්ඩව කරගෙන යයි. ප්‍රමාණයෙන් සමානවූ මෙම ප්‍රකාශනය, ඊට වෙනස්ව ඇගේ එක් ව්‍යාපෘතියක් කෙරෙහි අවධානය යොමු කරමින්, ඇගේ පුරෝගාමී පරිචය දෙස ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට බලන අනාගත ‘වෙළුම්’ සඳහා දොරටු විවර කරයි. සිය කාලයට වඩා ආසන්න වශයෙන් අවුරුදු 70කට පමණ ඉදිරියෙන් ඉඳිමින් ද සිල්වා දේශීය අමුද්‍රව්‍ය භාවිතය කෙරෙහි පෙන්වා දුන් වැදගත්කම ඉස්මතු කරමින්, කිසිඳු කඩදාසි නාස්තියකින් තොරව දේශීයව ලබාගත හැකි කඩදාසි තොගවලින් ‘දෙවැනි වෙළුම’ මුද්‍රණය කර ඇත.
සංස්කරණය ශාර්මිණී පෙරේයිරා සහ කෞමදී ජයවීර විසින්
නිර්මාණ සැලසුම නියා තණ්ඩපානි විසින් 
ප්‍රකාශනය ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විසින්
පිටු 160
ISBN 978-624-5318-01-8
ප්‍රමාණය: මි.මි. 255 x මි.මි. 300 x මි.මි. 10
භාෂාව: ඉංග්‍රීසි

කොළඹ පිහිටි MMCA ශ්‍රී ලංකා වෙත ගොස් ද ‘දෙවැනි වෙළුම’ මිලදී ගත හැක.

මෙතැනින් ඇනවුම් කරන්න

‘දෙවැනි වෙළුම’ ග්‍රන්ථයේ දෙමළ සහ සිංහල පරිවර්තන පහතින් නොමිලේ භාගත හැක.

‘දෙවැනි වෙළුම’ (2024)
‘Irandavadu Thohuppu’ (2024)